Friday, October 19, 2007

කුමරියගෙ ලස්සන

දවසක් රජතුමාගේ දියණිය රං කලයකට වතුර පුරවා උකුලේ තබාගෙන රජමාලිගයට එනවා දැක්ක අන්දරේ කව්යකින් ඇයට මෙහෙම කිව්වා.

කටකොට කලේ දිය උකුලේ තබා ගෙන
ලොටතන දෙකක් රෙදි කඩකින් වසා ගෙන
තඹ පිත්තල වලින් අභරණ පැලද ගෙන
රොඩී කෙල්ල කොහි යනවද උදෑ සන


මේක ඇහුන කුමරියට හොදටම තරහා ගියා. පස්සෙ කුමරිය මොකද කරන්නෙ තමා රොඩීකෙල්ලක් යැයි කියා අන්දරේ අපහාස කල බවට රජතුමාට පැමිණිලි කලා. රජතුමත් වහාම රාජ පුරුෂයන් යවලා අන්දරේ ගෙන්නගෙන කුමරිට අපහාස කලේ ඇයිද කියලා හරි කේන්තියෙන් අන්දරේගෙන් ඇහුවා.

අන්දරේ රජතුමාට වැදලා එ‍හෙම

“අනේ දේවයන් වහන්ස මේවගේ ලස්සන රාජ කන්‍යාවක් මම රොඩී කෙල්ලක් යැයි ‍කියන්නෙ කොහොමද? මම එතුමියගෙ ගුණ හා ලස්සන වර්ණනා කලා මිස වෙන යමක් නොකීවෙමි”

“මම එය කවියකින් කීවෙමි එතුමියට එය තේරුම් ගැනීමට නොහැකිවූවා සේ පෙනෙයි දැන් ඔබ ඉදිරියෙහිදී වුවත් මට ඒ කවිය කිය හැකිය එහි වරදක් ඇද්දයි ඔබතුමාම බැලුව මැනව”

කී අන්දරේ පෙරකී කවිය වෙනස් කර මෙහෙම කිව්වා.

රං රං කලේ දිය උකුලේ තබා ගෙන
රං කුඹු දෙකක් සළු පටකින් වසා ගෙන
රිදිත් රත්තරං දෙවගේ පැලද ගෙන
මල්මද බිසව කොහි යනවද උදෑ සන


මේක ඇහුව රජතුමා බොහෝම සතුටුවෙලා තෑගි බෝග එහමත් දීලා තමයි අන්දරේ පිටත් කොලේ ඕං......

2 comments:

උෂාලෝක said...

වර්ෂ 1779 සිට 1797 තෙක් රජකම් කළ රාජාධිරාජසිංහ රජතුමාගේ මහනුවර මාළිගයේ කවටයා ලෙස කටයතු කළ පුද්ගලයා ලෙස සැලකෙන්නේ අන්දරේ. එකී කාල වකවානුවේ දී ලංකාවේ පහත රට යුරෝපීය බලපෑම්වල ට තදින් ම හසුවී තිබුණා. අන්දරේ මාතර දික්වැල්ලේ (එනම් පහත රට) උපන් අයෙක් නිසා ඔහුගේ පියා ඔහු ට ප්‍රංශයේ සුලබ නමක් වන André යන නම තැබුවාද යන්න විමසිය යුත්තක්.

මේ කියන කාලයේ ප්‍රංශ ජාතික නාවිකයෝ නිතරම ඉන්දියන් සාගරයේ ගමනා ගමන කටයුතුවල යෙදිලා තිබෙනවා. ලංකාව ට නුදුරින් පිහිටි ඉන්දියාවේ පොන්ඩිචෙරිය මෑතක් වන තුරු ප්‍රංශ යටත් විජිතයක්ව පැවතුණා. අන්දරේ ජීවත් වූ කාලය ට ටිකකට කලින් රාජ බිසවක් සමග පෙමින් වෙළුණු දස්කොන් නම් පුද්ගලයාත් ප්‍රංශ ජාතිකයෙක්.

ඔබේ මෙම "අන්දරේ කථා පෙළ" විශේෂයෙන් ම අන්තර් ජාල පහසුකම් ඇති පාසල්වල ළමුන් කියවිය යුතුයි කියා මා හිතනවා. නැණසල අයෙකුට ඒ ගැන කිව්වොත්, සමහරවිට ඔබේ බ්ලොග් එක ගැන ප්‍රචාරයක් දෙයි.

මාගේ "අභ්‍යවකාශ පිටුව" කියැවීම ගැන බොහොම ස්තුතියි!

nuwan perera said...

සිංහලයන් ඉන්දියානුවන්ට වඩා බොහෝ සෙයින් සමාන වන්නේ යුරෝපිය ජාතිකයන්ට ,සිංහල යන්ගේ ඇතම් විදි ක්‍රම යුරෝපියන්ට සමාන වේ